Members

Username
Password
Remember Me

Tags


news

Old Articles

Roshan Talk About Teens

Published: Jan 24, 2011 by admin Filed under: Old Articles

තරුණකම කියන්නේ සෙට් වෙන එක නෙමෙයි

රොෂාන් රණවන

රොෂාන් රණවන ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතාම ඉක්මනින් සිනමාවේ ආකර්ෂණීයත්වය දිනා ගනිමින් පේ‍්‍රක්ෂකයින්ගේ ආදරයට ලක්වූ රංගන ශිල්පියෙක් විදිහටයි අපි රොෂාන් දකින්නේ. මේ වසර රොෂාන්ටත් තීරණාත්මක වසරක්. ඒ රොෂාන් රංගනයෙන් දායක වූ සිනමාපට තුනක්ම මේ වසරේ ඔබට දකින්නට ලැබෙන නිසයි.

කාලයකට පස්සේ අපි රොෂාන් හා වෙනස්ම කතාබහකට යන්න හිතුවා. තවමත් තාරුණ්‍යයේ ඉන්න රොෂාන් ඒ කතාබහේ කළ දෑ මේ පත්ඉරුවේ අපි සටහන් කරනවා.

* රොෂාන් මොනවද මේ අවුරුද්දේ වැඩ කටයුතු

මට මේ අවුරුද්ද බලාපොරොත්තු සහිත අවුරුද්දක් කියලයි දැනෙන්නේ. මොකද 2011 මගේ ජීවිතයේ සන්ධිස්ථාන කිහිපයක්ම හමුවන වර්ෂයක්.

මගේ මොඩ්ලින් ජීවිතේට අවුරුදු 10 යි. මම රංගනයට ඇවිත් අවුරුදු 5 යි. ඒ වගේම මේ අවුරුද්ද වෙනකොට සිනමාපට 10 කට මම දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ වසරේ මගේ සිනමාපට තුනක් තිරගත වෙන්නත් තියෙනවා. චැලෙන්ජර්ස්, සුපර් සික්ස්, මහින්දාගමනය කියන සිනමාපට තුන. තවත් පැත්තකින් මගේ අලුත් නිවහනත් හදා ඉවර කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

* ඔය කියන විදිහට පෞද්ගලික ජීවිතෙත් මොකක් හරි වෙනසක් වෙයි ද?

නැහැ එහෙම නම් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මගේ ගීත ඇල්බමයක් රිලීස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

* රොෂාන් තරුණයෙක් විදිහට තාරුණ්‍යය ගැනත් ටිකක් කතා කරමුකෝ.

ඔව් එවැනි දෙයක් අහපු එක හොඳයි. මේ තාරුණ්‍ය කියන එක ගොඩක් අය වරද්දගෙන ඉන්නේ. අද සමහරුන් කියනවා මේ ඉන්න තරුණ පරම්පරාව හොඳයි මත්පැන් සිගරට් වලින් ඈත්වෙලා කියලා. හැබැයි මට නම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ.

මොකද මම ගිය සාදවලදි ඒ අවබෝධය තරුණ පරම්පරාව තුළ අඩුයි කියලා මම දැක්කා. මට තේරෙන්නැහැ තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි තාම මේ සංස්කෘතියේ ඉන්නේ. නයිට් ක්ලබ් ඔය සමාජ ශාලාවලට යන කෙනකුට තේරෙනවා අද තරුණ පරම්පරාවේ තත්ත්වේ.

* හැබැයි ඔය දේ පොදුවේ සමස්ත තාරුණ්‍යයටම ගෝචර නැහැ නේද?

අනිවාර්යයෙන්ම ඒක මම පිළිගන්නවා. හැමෝම එහෙම නැහැ. හැබැයි මම කියන්නේ අද පාසල් යන ළමයින් පවා ඔය වැරැදි දේ කරනවා මම දැකලා තියෙනවා. සමාජ ශාලාවකට යන්න පුළුවන්නම් මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්.

* සාමාන්‍යයෙන් රොෂාන් නයිට් ක්ලබ් යනව ද?

නැහැ ඇත්තටම නැහැ. මොකද මට එහෙම ගිහින් වැඩකුත් නැහැ. මොකද මම මත්පැන් සිගරට් නොබොන කෙනෙක් නිසා. දවසක් මට අහම්බයෙන් යන්න වුණා. ඒකත් අකැමැත්තෙන් වුණ දෙයක්.

හැබැයි මම තේරුම් ගත්තා මම දැකපු දේවල් හැටියට මේක බොරු වැඩක් තේරුමක් නැති වැඩක් කියලා. මම නම් කියන්නේ දරුවන් මොනවද කරන්නේ කියලා මවුපියන් අනිවාර්යයෙන් හොයා බලන්න ඕන. මේක මම තරුණයෙක් විදිහට ඉල්ලන දෙයක්.

* එතකොට මොකක්ද ඔබ සැබෑ තාරුණ්‍ය කියලා දකින්නේ.

මෙහෙමයි තරුණකම කියන්නේ බොන එකවත් සෙට් වෙන එකවත් නෙමෙයි. සෙට් වෙනවා කියන්නේ ඕක නම් ඒකම වැරැදියිනේ. තාරුණ්‍යයට හොඳින් අපේ රට විඳින්න පුළුවන්. හැබැයි ඒක පවුලටවත් රටටවත් බරක් වෙන්න ඕන නැහැ.

අපිට ලංකාව වෙනුවෙන් ගොඩක් දේ කරන්න පුළුවන්. මම මේ පොර ටෝක් දෙනවා කියලා කෙනෙක් හිතයි. මහණ වෙන්න හදනවා කියලා හිතයි. හැබැයි මම මේ කතා කරන්නේ මම දකින ඇත්ත. මගේ පෞද්ගලික හැඟීම. මොකද අද තාරුණ්‍යය ගොඩක් අතරමං වෙලා ඉන්නේ. තාරුණ්‍යයට වගකීමක් තියෙනවා, ඒ රට වෙනුවෙන් සේවය කරන්න.

* සමහරවිට ඔබට දේශපාලනයට කෙනෙක් ආරාධනා කරන්නත් පුළුවන්.

ආරාධනානම් ලැබුණා මට. උදව් කරන්න කියලත් කිව්වා. හැබැයි මම කියන්න ඕන දේශපාලනය ගැන මගේ කිසිම උනන්දුවක් ආසාවක් නැති බව. වෙන රටක හිටියනම් මම දේශපාලනයට එයි. මොකද දේශපාලනය කියන්නේ උතුම් දෙයක්.

නමුත් අපේ රටේ දේශපාලනය කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. ඔය සමාජ සේවය අපේ රටේ සියයට දශම ගාණක්වත් වෙනව ද? සමහරු ළඟ ප්‍රතිපත්තියක් නැහැ. එහෙම නෙවෙයි තමන් ස්වාධීන වෙන්න ඕන. මම නම් කියන්නේ දේශපාලනය අපිට අදාළ නැහැ. මොකද කලාකරුවාට වෙන කාර්යභාරයක් තියෙනවා. මේක මගේ මතය මම දන්නැහැ අනෙක් අය කොහොමද කියලා.

* ඔබ ඡන්දය පාවිච්චි කරලා තියෙනව ද?

අනිවාර්යයෙන්ම. ඔව් මම ඡන්දය පාවිච්චි කරලා තියෙනවා.

* දැන් ඔබේ රංගන දිවියට අවුරුදු පහයි. මේ කාලයට යමක් කරන්න ලැබුණා කියලා හිතනව ද?

මම යමක් කළා කියලා හිතනවා. මොකද මම පේ‍්‍රක්ෂකයින් අතරට ගිහින් තිබෙන නිසා. මේ කාලයට හොඳ නිර්මාණ මම කරලා තියෙනවා. චරිතාංග නළුවකු වෙන්න ලැබුණු කාලය මදි. මොකද මට පරිපූර්ණ වෙන්න එකතු කරගන්න ගොඩාක් දේ තියෙනවා.

* පසුගිය කාලේ ඔබ රියැලිටි තරග සඳහාත් සහභාගි වෙනවා අපි දැක්කා.

ඔව් මට ඕන වුණා අත්දැකීම විඳගන්න. හැබැයි ඉතිං ඉතාම ස්වල්පයක් විතරයි හරියට වෙන්නේ. එක පැත්තකින් ගම්වල දක්ෂ තරුණ පිරිසක් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ නිසා යම් සේවයක් වෙලා තියෙනවා. නමුත් ඔය එස්එම්එස් ක්‍රමය ගැන නම් අපි දන්නේ නැහැ. එහි හරි වැරැද්ද දන්නේ ඇතුළේ ඉන්න අයම තමා.

* ඔය ජනපි‍්‍රයත්වය කියන දේ රොෂාන්ට දැනෙන්නේ කොහොමද?

ඔව් ඒක ජීවිතේට විවිධ විදිහට බලපානවා. සමහර වෙලාවට පෞද්ගලික නිදහසට ඒක බාධාවක් කියලත් හිතෙනවා. තවත් වෙලාවකට හොඳයි කියලත් දැනෙනවා. මොන දේ වුණත් කල්පනා කරලා වගකීමෙන් ජීවත්වෙන්න වෙනවා.

මොකද අපි දිහා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ලොකු කුඩා භේදයක් නැතිව. ඉතිං ඒ අයට ආදර්ශයක්ව ඉන්න ඕන. අනෙක ජනපි‍්‍රයත්වය කියන දේ ආභරණයක් කරගන්න එක හානියක් කියලයි මම දකින්නේ.

* මෑත කාලීනව සිනමාවට එක්වූ යුගයක් පූජා - රොෂාන් යුගය. නමුත් පූජා සිනමාවෙන් සමුගන්නවා කියන රාවයත් එක්ක රොෂාන් මොකද හිතන්නේ.

ඔව් මෙහෙමයි පූජා එක්ක මම චිත්‍රපට කිහිපයකම වැඩ කළා. නමුත් ඉතිං ඇය අයින්වුණා කියලා ඒක එතරම්ම මට බලපාන දෙයක් නෙමෙයි. එහෙම වුණාම තවත් වෙන කවුරු හෝ නිළියක් ඉඳියි. අනිවාර්යයෙන්ම එහෙම ආදේශකයක් තියෙන්න ඕනනේ.

ඔබ කියන ආකාරයේ යම් ගැලපීමක් තිබුණා. අපේ සිනමාවේ විජය - මාලිනි, ගාමිණි - මාලිනි, සනත් - සබීතා එහෙම යුග තිබුණනේ. නමුත් පූජා නැති වුණත් වෙන කවුරු හෝ ඒ තැන ඉඳියි.


Read more »
Comments (1) »

සංජු සමනළී රොඩ්රිගෝ

Published: Dec 31, 2010 by admin Filed under: Old Articles

ඔව් මම සංජු මම දුක් විඳින්න අකමැති කෙනෙක්

සංජු සමනළී රොඩ්රිගෝ මේ දිනවල ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තයේ ‘පද්මිණී’ ලෙස ජනප්‍රිය වුවද, ඇය රූපවාහිනී නිවේදිකාවකි. ඈ සතු මුඛරි බව, කෙළිලොල් බව නිසාම ප්‍රේ්ක්ෂක හදවත් තුළ ලැගුම් ගන්නට තරම් සංජු වාසනාවන්තියක වී තිබේ.

‘මගේ ගම පානදුර. ඉගෙන ගත්තෙ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම ටිකක් කටකාරයි. මේ කටකාරකම නිසාම මගේ ලොකු අක්කා හැම වෙලේම කියනවා මම නිවේදිකාවක් වෙන්නයි හොඳ කියලා.’

වැඩිමහල් සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලට සංජු එක් වන්නේ පවුලේ බඩපිස්සී ලෙසයි. පවුලේ බාලයා නිසාම හුරතලයෙන් හැදුන සංජුට ඇගේ ලොකු අක්කා කියු පරිදිම නිවේදිකාවක් වන්නට වරම් ලැබිණි.

‘ඉස්කෝලෙ යන කාලෙම මම ශ්‍රී එෆ්. එම්. එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එතනදි මම ලැබූ පුහුණුව වචනයෙන් විස්තර කරන්නත් බැරි තරම්. ඊට පස්සෙ වයි. එෆ්. එම්. එකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ තමයි මැක්ස් ටී. වී. එකට සම්බන්ධ වුණේ.

ගුවන් විදුලි නිවේදිකාවක ලෙස නිවේදන ක්ෂේත්‍රයට පිවිසි සංජු, මැක්ස් ටී. වී. තුළින් ප්‍රේක්ෂක හදවත්වලට ළෙන්ගතු මිතුරියක් වූ බව නොරහසක්.

‘පාරාදීසය සජීවි වැඩසටහන තමයි මැක්ස් ටී. වී. එකේදී මම මුලින්ම කළේ. කිසිම බයක්, චකිතයක් නැතුව මම ඒ වැඩසටහන කළා. ඊට පස්සෙ උදේ ඉඳන් රෑ වෙනකල්ම මැක්ස් එකේ් වැඩසටහන් කළේ මම.’

‘නමුත් දැන් ඔබ මැක්ස් රූපවාහිනියෙ නැහැ.’

ඔව්, මට ගැහැනු ළමයි ටෙලි නාට්‍යයෙ රඟපාන්න ලැබුනෙ ‘මැක්ස්’ එකේ ඉන්න කොට. ‘පද්මිණී’ කියන්නෙ යමක් කළ හැකි චරිතයක් නිසා මං ඒ ආරාධනාව පිළිගත්තා. ඒත් ෂූටිං දිගට වැටෙන කොට මට පූර්ණකාලීන නිවේදිකාවක් විදිහට රැෙඳන්න බැරි වුණා.

‘රඟපෑම නිසා නිවේදනය අත හරින්න සූදානම් කියලද කියන්නේ?’

‘කවදාවත් නැහැ. මම තවම නිවේදිකාවක්. ෆ‍්‍රී ලාන්ස් නිවේදිකාවක් විදිහට මම ස්වර්ණවාහිනියෙ වැඩසටහන් කීපයක්ම කරනවා. නිදහස් නිවේදිකාවක් විදිහට ඉන්න එකත් හොඳයි කියලා හිතෙනවා. එකම තැනක ඉඳන් ඒකාකාරී වෙනවට වඩා මේ විදිහට වැඩසටහන් කරන එක හොඳයි.’

තමන් ඉදිරිපත් කරන වැඩසටහන හොඳින් කරගෙන, ප්‍රේක්ෂකයා තමා වෙතම රඳවා ගැනීම නිවේදිකාවකගේ වගකීම බව සංජුගේ මතයයි.

‘මම හැමදාමත් සරල බසින් ප්‍රේක්ෂකයා ඇමතුව කෙනෙක්. මා කරන වැඩසටහන අනුව, එය බලන ප්‍රේක්ෂකයා පිළිබඳව වටහාගෙන ප්‍රියමනාපව මගේ රාජකාරිය කරපු කෙනෙක්. නිවේදිකාවක් කියලා දැන් අපට ඇහෙන, සමහරු භාවිතා කරන පහත් වචන මං තුළ කවදාවත් නැහැ. තොරතෝංචියක් නැතුව කියවන එකවත්, දෙපිට කැපෙන කතා කියන එකවත් නිවේදන වෘත්තියට සුදුසු නැහැ කියලා මං හොඳින් අවබෝධ කරගෙන ඉන්න කෙනෙක්.’

‘හතු පිපෙනවා වගේ නිවේදක නිවේදිකාවෝ ආවට, දවසක රැඳෙන්නෙ, පැවතෙන්නෙ දක්ෂකම තියෙන කෙනා විතරයි’ සංජු පවසන්නේ මුසාවක් නොවනා වග අපි ද දන්නා වූ කරුණකි.

ගැහැනු ළමයි හි පද්මිණී ලෙස සංජු කරන රඟපෑමට ලැබෙන ප්‍රතිචාර සතුටුදායක බැව් ඇය අප සමඟ පවසයි.

‘සමහරු බනිනවා මට. ඒ ඉතින් මම මට ලැබුන චරිතය හොඳින් කරන නිසා කියලා දැනෙනවා.

වහින්න මුතු වැස්සක්, මායා මන්ත්‍රී ඇතුළු ටෙලි නාට්‍ය පහකට මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම එරංග සේනාරත්නගෙ අලුත්ම චිත්‍රපටයෙත් රඟපානවා.

තව ටෙලි නාට්‍ය කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මම ලැබෙන හැම දේම බාර ගන්නෙ නැහැ. ගොඩාක් ඈත ෂූටිං තියෙන ඒවට මම යන්නෙ නැහැ. මම දුක් විඳින්න ටිකක් අකැමැති කෙනෙක්.

නිවේදිකාවක්, නිළියක් ලෙසින් ප්‍රේක්ෂක ආදරය ලබන සංජු දැනටමත් පෙම්වතියක්.

‘ඔව් මං පෙම්වතියක්. එයා ව්‍යාපාරිකයෙක්.

මගේ කලා කටයුතුවලටත් උපරිම සහයෝගය දෙනවා. විවාහ වෙන්න තව ටික කාලයක් යයි’ තම පෙම්වතා ගැන කතා කරන සංජුගේ හඬ පුරාම රැඳී තිබුණේ සතුටයි.


Read more »
Comments (0) »

ශලනි තාරකා

Published: Dec 30, 2010 by admin Filed under: Old Articles ශලනි තාරකා
මගේ කාලය ඉවරයි කියලා දැනුණු දවසට
රංගනයෙන් ඉවත් වෙනවා
ශලනි තාරකා


 සති අන්තයේ රාත්‍රියේදී ඇගේ රංගනයන් නැවත් අපට දකින්න පුළුවන්. ඒ මේ දිනවල විකාශය වන ගඟ අද්දර ටෙලිනාට්‍යයේ නිර්මලා ලෙසින්. තරගාවලියක්‌ තුළින් තම ගමන් මාවත නිවැරදිව සොයාගත් ඇය නමින් ශලනි තාරකා.

ගඟ අද්දර ටෙලි වෘත්තාන්තයෙන්ම අපි කතා බහ ආරම්භ කළොත්?

නිර්මලා, නිමාලි කියන ආත්ම දෙකක්‌ වටා ගෙතුණු ද්විත්ව චරිතයක්‌ තමයි මම ගඟ අද්දර ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. ඇත්තටම ගඟ අද්දර ටෙලිනාට්‍යයක්‌ කරන්න යනවා කියලා මට එහි ප්‍රධාන චරිතයට ආරාධනා කළහම මම ගොඩක්‌ හිතන්න ගත්තා. මොකද චිත්‍රපටයක්‌ හැටියට ගඟ අද්දර ප්‍රේක්‍ෂකයන් අතරේ ගොඩක්‌ ජනප්‍රියයි. නාට්‍යයේ නිෂ්පාදක සාරංග මෙන්ඩිස්‌ අයියා එක්‌ක මම කතා කළා. ඔහු චිත්‍රපටය නෙමෙයි නවකතාව අනුසාරයෙන් ටෙලිනාට්‍යය නිර්මාණය කරනවා කිව්වහම තමයි මම චරිතයට කැමති වුණේ. මේ දවස්‌වල දෙවැනි අදියරේ (නිමාලි) චරිතයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. පළවෙනි කොටසට හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙනවා.

 
මේතාක්‌ ඔබට ලැබුණු චරිතත් මේ චරිතයත් අතර වෙනසක්‌ තිබෙනවාද?

මුලදි බයක්‌ තිබුණා. ජනප්‍රිය චිත්‍රපටයක්‌ ආශ්‍රයෙන් නිර්මාණය කරන ටෙලිනාට්‍යයක්‌ නිසා කවුරු හරි මගේ චරිතයට ඇඟිල්ල දික්‌කරලා මොනවද මේ කරලා තියෙන්නේ කියලා අහයි කියලා. මොකද මීට කලින් එහෙම කරපු නිර්මාණ කිහිපයක්‌ම කඩා වැටිලා තියෙන නිසා. ඒත් මම ගඟ අද්දර චිත්‍රපටය අද වෙනකම් නරඹලා නැහැ. ඒ නිසා කාටවත් මගේ රංගනය අනුකරණයක්‌ කියලා කියන්න බැහැ.

ආරම්භක මොහොතේ සිට අද දක්‌වා ගත්විට මේ කෙටි මාවතේ වෙනසක්‌ සිදුවෙලා කිව්වොත්?

මුලින් කරපු දේට වඩා වෙනසක්‌ වෙලා කියලා මට තේරෙනවා. කොහොමත් මොනදේ කළත් කරන දෙයින් අලුත් දෙයක්‌ එකතු කරගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මීට අවුරුදු දෙකකට කලින් හිටිය තැනට වැඩිය ටිකක්‌ උඩින් ඉන්නවා කියලා හිතෙනවා.

ඔබේ ගමනට මවගෙනුත් ලොකු සහයෝගයක්‌ ලැබෙනවා ඇති?

 
අනිවාර්යෙන්ම. මුල්ම රංගනයට අවස්‌ථාව ලැබිලා මට රඟපාන්න බෑ කියලා ඉන්න අවස්‌ථාවේ අම්මා තමයි ඒ ගැන හොයලා බලලා චරිතයේ හොඳ නරක බලලා රංගනයට එන්න මාව උනන්දු කළේ. ඒ ආරම්භ කරපු දවසේ ඉඳලා අද වෙනකම් මගේ හෙවනැල්ල අම්මා තමයි.

ඇයි රඟපාන්න බෑ කියලා තීරණය කළේ?

කවදාවත් නොකරපු දෙයක්‌ වගකීමක්‌ ඇතිව බාරගන්න බය හිතුණ නිසා. සිරස කුමරිය තරගෙට ඉදිරිපත් වුණා මිසක්‌ කවදාවත් නිළියක්‌ වෙන්න මගේ හිතේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. ඒ නිසයි පස්‌ස ගැහුවේ.

මව නිසාද ඔබ ක්‌ෂේත්‍රයේ රැඳී සිටින්නේ?

පළමු චරිතය රඟපාලා බය දුරුවුණාට පස්‌සේ ඉඳලා මේතාක්‌ සාර්ථක ගමනක්‌ එන්න මගේ අම්මා ලොකු සහයෝගයක්‌ දුන්නා. ඒ විතරක්‌ නෙමෙයි තාත්තා, අයියත් මට ශක්‌තියක්‌ වෙලා මාව දිරිගැන්වුවා. අදටත් මම රඟපාන චරිත හැම එකක්‌ම බලලා මූණට වැරදි කියන අවංක ප්‍රතිචාර දක්‌වන ප්‍රේක්‍ෂකයෝ තුන් දෙනා ඉන්නේ ගෙදර.

දැන් පොත් ලියන්නේ එහෙම නැද්ද?

පොඩිකාලේ ඉඳන්ම පොත් ලියන්න ආසයි. එහෙම පටන් ගත්ත නවකතා දෙකක්‌ම තියෙනවා ඉවර කරන්න. ඒත් මේ දවස්‌වල රංගන ක්‍ෂෙත්‍රයේ තියෙන වැඩත් එක්‌ක පොත් ලියන්න නෙමෙයි නිදාගන්නවත් වෙලාවක්‌ නැහැ.

නවකතාවට පසුබිම සකස්‌ කරගත්තේ කොහොමද?

විශේෂයක්‌ නෑ. මුලින් කියපු නවකතා දෙකෙන් එකක්‌ මගේ හිතේ මැවුණු දෙයක්‌. අනෙක්‌ එක මගේ යාළුවෙකුට සිදුවුණු ආදර කතාවක්‌.

පොත් ලියන්න තරමේ කරුණු රැස්‌කර ගන්නේ කොහොමද?

මගේ විනෝදාංශයක්‌ තමයි පොත් කියවීම. පල්ලි ගියත් වැඩි වෙලාවක්‌ ගතකරනේ පොත් එක්‌ක. ඒ කරුණු සෑහෙන්න වැදගත් වෙනවා.

හද රැඳි පැය මෙහෙයවන්න එකතුවුණේ අරුණ ලියාන්ව අයින් කරලද?

අරුණ ලියාන් අයියව වැඩසටහනින් අයින් කළාද අයින් වුණාද කියන්න නම් මම දන්නේ නැහැ. සෑහෙන කාලෙක ඉඳලා ජයන්ත අයියා මට කතා කරලා කියනවා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා. ප්‍රධාන තැන දීලා තියෙන්නේ රංගනයට නිසා කාලය මදිකම ප්‍රශ්නයක්‌ වුණා. හද රැඳි පැය සතියකට එක දවසක්‌ නිසා කැමති වුණා.

සංගීතය ගැන ඔබ කොතෙක්‌ දුරට හදාරලා තිබෙනවද?

සංගීතය කවදාවත් මම හදාරලා නැහැ. නැටුම් තමයි ඉගෙන ගත්තේ. කෙනෙක්‌ට අහන් ඉන්න පුළුවන් තරමේ සින්දුවක්‌ කියාගන්න නම් පුළුවන්.

ඒ දැනුම වැඩසටහනක්‌ මෙහෙයවීමට තරම් ප්‍රමාණවද්ද?

මම හිතන්නේ නැහැ ප්‍රමාණවත් කියලා. ආසයි ඉගෙන ගන්න. ඒත් දැනට වෘත්තිය රංගනය නිසා කාලය තමයි මදි.

නමුත් යම් යම් අවස්‌ථාවලදී ඔබ වැඩසටහනට සූදානමින් ඇවිත් නැති බවක්‌ දකිනවා?

එන ශිල්පියා ගැන ලොකුවට සොයා බැලීමක්‌ කරන්න අපහසුයි. ජයන්ත අයියා එක්‌ක කතා කරලා තමයි ශිල්පියාගේ තොරතුරු දැනගන්නේ. ඒ වගේ අවස්‌ථාවලදි තමයි පොඩි පොඩි මග හැරීම් සිද්ධ වෙනවා ඇත්තේ.

මේ තරම් කාර්ය බහුලතාවක්‌ උඩ ඔබ නැවතත් රියෑලටි වැඩසටහක්‌ හා එකතුවෙලා?

නර්තනය මම ආස කරන විෂය නිසයි ඩාන්ස්‌ ස්‌ටාස්‌ ඩාන්ස්‌ වැඩසටහනට ඉදිරිපත් වුණේ. ලැබෙන ප්‍රතිචාර නම් අති විශාලයි.

වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මේ දිනවල අපි දකිනවා?

ඒ හතරට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තප්පර ගාණක්‌ ඇතුළත කරන දෙයක්‌ නිසා ලේසියිs කියලත් හිතෙනවා වෙලාවකට අමාරුයි කියලත් හිතෙනවා.

ගුවන් සේවිකාවක්‌ වෙන්න තිබුණු හීනය රංගනය නිසා මගහැරුණා නේද?

පාසල් යන කාලේ ඉඳලා තිබුණු බලාපොරොත්තුවක්‌ තමයි. එත් ලැබුණු දේ ගැන සතුටයි. මේ මාවත හොඳයි කියලා හිතෙනවා. දීර්ඝ කාලීනව නම් රැඳී ඉන්න අදහසක්‌ නැහැ. හොඳ නිර්මාණ වලට සහභාගි වෙනවා.

ඇයි දිගටම ඉන්න බලාපොරොත්තුවක්‌ නැත්තේ?

ජනතාවගේ ආදරය ලබන්න මේ වගේ අවස්‌ථාවක්‌ හැමෝටම උදාවෙන්නේ නැහැ. මගේ කාලෙත් ඉවර වෙලා මෙයාගේ රඟපෑම් දැන් වැඩක්‌ නැහැ කියලා කවුරු හරි මට කිව්වොත් එතනින් එහාට මට වැඩ ලැබෙන්නේ නැහැ. ඒකයි දිගටම රුඳී ඉන්න බලාපොරොත්තුවක්‌ නැත්තේ.

නත්තල සමරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

ඊයේ වෙනකම් දිගටම ෂූටින් වල හිටියේ . ඒ තරමට වැඩ. ඒ නිසා මේ අවුරුද්දේ නත්තල් නෑ වගේ.

ඔබ ජනප්‍රිය තරුවක්‌ සමග විවාහ වෙන බව පැවසුවා නේද?

කටකතා නම් මේ ක්‍ෂෙත්‍රයේ සාමාන්‍ය දෙයක්‌ නේ. මේකත් ඒ වගේ කතාවක්‌ තමයි. තාම විවාහයක්‌ ගැන හිතන්න තරම් වයසක්‌ මට නැහැ. දෙම්පියන්ගේ කැමැත්ත අනුව ඒ දේත් කලට වෙලාවට සිද්ද වෙයි.

නමුත් ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැහැ නේද?

කලා ක්‍ෂෙත්‍රයේ දී ගිනිගන්නම ඕන නැහැ දුම් නගින්න. කෙනෙක්‌ එක්‌ක කතා කළත් ඇති ඒ ගැන කතාවක්‌ හදන්න.



Read more »
Comments (0) »

මධුමාධව අරවින්ද

Published: Dec 27, 2010 by admin Filed under: Old Articles

වැලන්ටයින් මල් පිපේදැයි බලන්න

පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය කියලා නොදන්න කෙනෙක් නැහැ. එදාට ආදරවන්තයින් එකිනෙකා තෑගි හුවමාරු කරගෙන ‘වැලන්ටයින්ස් ඩේ’ සමරනවා.

අපේ ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දත් පෙබරවාරි 14 වෙනිදාට ‘වැලන්ටයින්ස් ඩේ’ අති උත්කර්ෂවත් විදිහට සමරන්න යනවා කියලා අපිට ආරංචි වුනා. මධූගේ අරවින්ද යායෙ මල් පිපෙන කාලය දිහා බලන් හිටපු යාළුවෝ මේ දවස එනකල් බලන් ඉන්නවලු


Read more »
Comments (0) »

Old Articles

Published: Dec 27, 2010 by admin Filed under: Old Articles

 

 

වැරදුණත්, හරි ගියත්
එයාගෙ තීරණයම තමයි

මර්වින් සිල්වා ඇමැතිතුමාගේ බිරිය ලූසීඩා නවලිය සමඟ


 ප්‍රියමනාප කාන්තාවකි. සුන්දරත්වය ඇගේ මුහුණින් මනාව පිළිඹිබු වෙයි. සුහදශිලිත්වය ඉහළින්ම තිබෙයි. මම ඇය අබියස අසුන් ගෙන සිටිමි.

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ බිරිඳ ඇයයි. නමින් ඇය ජයමාන්න ආරච්චිලාගේ මේරි ලුසීඩා මහත්මියයි.

මම ඇය සමග කතාබහට එක්‌වුණෙමි. බිරිඳක්‌ තම ස්‌වාමිපුරුෂයා පිළිබඳ කරන කතාබහ වඩාත් රසවත් වන්නේ සත්‍ය නොසඟවා කතා කිරීමෙනි. නැතිනම් අපට හැමදාමත් අසන්නට වෙන්නේ ස්‌වාමි පුරුෂයාගේ වැරදි සඟවාගෙන කතා කරන බිරිඳක වෙතින් තම ස්‌වාමි පුරුෂයාගේ අනන්ත අප්‍රමාණ ගුණකඳය.

එය එසේ නොවී සත්‍ය ඇති සැටියෙන් කතා කළ අපූරු ඇමැති බිරිඳ ඉතාම නිහතමානි කාන්තාවක වූවාය.

* ඇමැතිතුමා සහ ඔබගේ මංගල ඡායාරූපයේ මින් පෙර කොහේදිවත් නොදුටු දෙයක්‌ මා දුටුවා,

ඔබ කියන දේ ඇත්ත. මහත්තයා කිහිලිකරුවලින්.

* ඇයි කියලා දැනගන්න කැමතියි

එයා අපේ මව්පියන්ට යෝජනාවක්‌ ගෙනාවා. අද වගේ මට මාසය මතකයි. ජුනි මාසේ. ජනවාරි මාසේ මහත්තයා දරුණු රිය අනතුරකට ලක්‌වුණා. කකුල කපන්න වෙයි කියල ඩොක්‌ටර්ස්‌ලා කිව්වා. මාව නැතිවෙයි කියලා මහත්තයාගේ හිතේ පුංචි බයක්‌ ඇතිවෙලා. ඒ නිසා අපි පෙබරවාරි මාසයේ විවාහ වුණා. මංගල ඡායාරූපයේ මහත්තයා කිහිලිකරුවලින් ඉන්නේ ඒකයි.

* ඇමතිතුමා ඔබේ මව්පියන්ට යෝජනාවක්‌ ගෙනෙන්න මූලික වූ කාරණය

මම ඉස්‌සර සිනමාවට, සිනමා පත්තරවලට හරිම කැමතියි. අපේ ගම කුලියාපිටිය. මගේ පියා පවුලේ එකම දරුවා. මම අපේ පවුලේ වැඩිමහල් දරුවා නිසා, අපේ තාත්තා මාව ආච්චිටයි - සීයටයි බාර දුන්නා. ඒකට ලොකුම හේතුව බාල සහෝදර - සහෝදරියන්. ආච්චියි - සීයයි මං කියන විදිහට. සිනමාවටත් කැමති කරවා ගත්තා.

ඔන්න දවසක්‌ සරසවිය පත්තරේ "අපිත් සූරයෝ" චිත්‍රපටියට නිළියක්‌ අවශ්‍ය බවට දැන්වීමක්‌ පළකර තිබුණා. 73 වර්ෂයේ කුලියාපිටියේ අවුරුදු කුමාරි මම. ඉතිං ඇප්ලිකේෂන් එකක්‌ දැම්මා. සම්මුඛ පරීක්‌ෂණයට කැඳෙව්වා. විනිශ්චය මණ්‌ඩලයේ එක්‌කෙනෙක්‌ අපේ මහත්තයා.

එයා මාව ඉන්ටර්වීව් කළේ ෆිල්ම් එකට නෙමෙයි. මගෙන් ඇහුවේ පුද්ගලික ප්‍රශ්නමයි. එහෙම තමයි මහත්තයා ගෙදරට යෝජනාව ගෙනාවේ.

* ඉතිං ඔබ කැමති වුණා.

මට එතකොට අවුරුදු පහළොවයි. කිසිම තේරුමක්‌ නැහැ. මමත් කැමතියි කිව්වා.

* තේරුමක්‌ නැතිව කැමති වුණා කිව්වේ.. ඔබ ගත් තීරණය වැරදිද?

නැහැ. වෙලාවකට මට හිතෙනවා විවාහයට ඉක්‌මන් නොවී තව ඉගෙන ගන්න තිබුණයි කියා.

* ඔබේ මහත්තයා කොයි වගේ කෙනෙක්‌ ද?

මට සහ දරුවන්ට සෑම යුතුකමක්‌ම ඉටු කරන, මං ගැන හොඳට සොයලා බලන මහත්තයෙක්‌. කේන්තියාම, හදිස්‌සි තීරණ ගැනීම ගැනත් ටිකක්‌ කියන්න ඕනේ.

* බිරිඳ වශයෙන් ඔබට එම තත්ත්වයන් පාලනය කර ගන්න තිබුණානේ,

මම පුළුවන් තරමින් කියනවා. නොකියනවා නෙමෙයි. ඒ දේවල් කියනවාටවත් මහත්තයා ආසා නැහැ. එයාගේ මතයම තමයි.

* නිවසේදී තීරණ ගැනීම ගැන කතා කළොත්,

අපි හිතනකොට එයා තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරලත් ඉවරයි. වැරදුණත්, හරි ගියත් එයාගේ තීරණයම තමයි. මත ගැටුම් ඇතිවෙනවා. නැතිව නොවෙයි.

* වැරදුණු තීරණ හමුවේ එතුමා දක්‌වන ප්‍රතිචාර,

එයාට ගානක්‌ නැහැ. කොච්චර පාඩු වෙනවද. ටිකක්‌ හරි අහයි කියලා මමත් ඉතිං නිශ්ශබ්දව ඉන්නේ නැහැ. පුළුවන් තරමින් පහදා දෙනවා.

* ඉතිං පිළිගන්නවා?

මොන පිළිගැනීමක්‌ ද?

* ඔබ දෙදෙනා ආගම් දෙකක වීම ප්‍රශ්නයක්‌ වෙලා නැතිද?

මහත්තයා බුද්ධාගමේ. මම කතෝලික ආගමේ... අපි සෑම ආගමකටම ගරු කරනවා. අපි දෙන්නාගේම ආගම් දෙකේ සෑම උත්සවයක්‌ම සමරනවා. ආගම අපිට කවදාවත් ප්‍රශ්නයක්‌ වෙලා නැහැ.

* නිවසේ වැඩකටයුතු වලට එතුමා දක්‌වන සහයෝගය?

හැකි වෙලාවට අවශ්‍ය දේවල් කරලා දෙනවා. නිවාඩුවක්‌, විවේකයක්‌ නැතිකම තමයි ප්‍රශ්නය. හැබැයි ඒ කොහොම වුණත් අපිට අසනීපයක්‌ වුණොත් අනිවාර්යයෙන්ම එවැනි අවස්‌ථාවට පැමිණෙනවා. සහයෝගය දක්‌වනවා. කෙසේ වෙතත් මහත්තයා නිසා අපේ නිවසේදී අපේ නිදහස අපිට නැතිවෙලා තියෙනවා.

* ඇයි එහෙම කියන්නේ,

ඕනෑම වෙලාවක අපේ නිවසේ සෙනඟ. මහත්තයා මුණ ගැසෙන්න වෙලාවක්‌ අවේලාවක්‌ නැහැ. මහත්තයාගේ සිරිත ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්න කැමත්තෙන්ම බාරගෙන විස¹දීම. ඉතිං ඒකයි, නිවසේදී අපේ නිදහස නැහැයි කිව්වේ.

* ඔබ ඇමැති බිරිඳක්‌. එය බලාපොරොත්තු විය යුතු දෙයක්‌.

ඒත්...හැමෝම එහෙමද. අපේ මහත්තයා හැමෝම එක්‌ක කතා බහ කරන නිසයි ඔය තත්ත්වය මතුවෙලා තියෙන්නේ.හැබැයි ඉතිං අපි දැන් ඒ දෙයට පුරුදු වෙලා. කරදරයක්‌ කියලා දැනෙන්නේ නැහැ.

* ඇමතිතුමා දරුවන්ට ආදරණීය පියෙක්‌,

ඔව් කිව්වොත් හරි. හේතුව දරුවන්ට ඒ වගේ ආදරය කරන තාත්තා කෙනෙක්‌ මම දැකලා නැහැ. පුතා මාලක මනෝජිත් සිල්වා. පුතා තමයි තාත්තගේ පුද්ගලික ලේකම් දුව සන්දීපනී මාලිකා, විවාහක යි. ඒ පුතාගේ නම මාධව අගුළුගහ. ව්‍යාපාර කටයුතුවල නිතර වී ඉන්නවා. මුණුබුරාට අවුරුදු 3 යි. නම රිතූ ආකර්ශන, සීයාගේ පණ තමයි ඒ. දුව පදිංචිවෙලා ඉන්නේ නාවල. තව බබෙක්‌ ලැබෙන්නත් ඉන්නවා. මහත්තයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ම එහෙ යනවාම යි.

* ඇමැතිතුමාගේ කාර්ය බහුලකම ඔබට පීඩාවක්‌ වෙලාද?

ඇත්තෙන් ඔව්. මගේ ළඟින් තියා ගන්න ලැබෙන්නේ නැහැනේ. කොහොම වුණත් එන්න එන්නම කාර්ය බහුලකම වැඩිවෙනවා. ජනතා සේවය ගැන හිතලා මම සතුටු වෙනවා.

* තරුණකම රැකගෙන ලස්‌සනට ඉන්න මහත්තයාගෙන් ලැබෙන සහයෝගය

අපේ ජීවිතත් සාමාන්‍ය විදිහට ගෙවෙනවා. එහෙමයි කියලා විශේෂ දෙයක්‌ නැහැ. මට අඩු නැතිව යුතුකම් ඉටුකිරීම තුළ ඔය කියන තත්ත්වය රැකෙනවා ඇති.

* ගමන් බිමන් යන විට මහත්තයත් හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

අවශ්‍ය සෑම තැනට ම එයා ඉන්නවා. සාමාන්‍ය ගමනට බිමනට මහත්තයා නැති එක හොඳයි. නැතිනම් යන වැඩේ කරගන්න බැරිවෙනවා. හැමෝ ම ඇවිත් මහත්තයාව වටකර ගන්නවානේ.

* ඔබ සතුටින්,

ඇයි නැත්තේ, තවත් ලබන්න දෙයක්‌ තියෙනවද?

 

අගමැති පුටීන් අනියම් පෙමක පැටලේ

රුසියානු අග‍්‍රාමාත්‍ය පුටින්ගේ පක්‍ෂයේම මන්ත්‍රීවරියක් මෙන්ම ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩිකාවක්ද වන 27 වැනි වියෙහි පසුවන ඇලිනා කබරේවා නම් කාන්තාවක් සමඟ අගමැති ව්ලැද්මිලර් පුටීන්ගේ අනියම් ඇසුරක් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. රුසියානු වෝග් සඟරාව පවුම් 21ල000 ක්‌ වටිනා ඇඳුමකින් දැරසී සිටි අලීනාගේ ඡායාරූපයක්‌ සඟරාවේ පිට කවරයෙහි පළකරමින් අදාල විශේෂ හෙළිදරවු කිරීම සිදුකර ඇත. මේ අනුව මෙම තරුණිය 58 හැවිරිදි රුසියානු අගමැති වැලැඩ්මීර් පුටින්ගේ පෙම්වතිය බවට දැනටමත් පුවත්පත්වල පළවූ වාර්තා තවදුරටත් සනාථ වීමට ඉඩකඩ තිබේ.

මෙම පුවත්පත් වාර්තා අසත්‍ය බව අගමැතිවරයා පැවසුවද වෙනත් වාර්තා පවසන්නේ විවාහයෙන් ඔවුන්ට දියණියන් දෙදෙනෙක්‌ සිටියද ඔහු දැනටමත් ඔහුගේ බිරිඳවන ලුද්මිලාගෙන් වෙන්වී ඇති බවයි.

 

 

 

 

 


Read more »
Comments (0) »
Page 1 of 1



rnrn